~LGBTQ අභිමානත්වයේ මාසය~
(LGBTQ Pride Month)
1970 ජූනි 28 වෙනිදා පටන් ජූනි මාසය LGBTQ Pride Month හෙවත් LGBTQ අභිමානත්වයේ මාසය ලෙස හඳුන්වනවා. ඒත් ඒ ඇයි?
Pride කියන්නේ මොකට ද?
Pride කියන්නෙ අභිමානයට. ඒත් අභිමානයට පත් වෙන්නෙ මොන වගේ දේවල් වලට ද? ලෝකයෙ බිහි වුණ හැම මනුස්සයෙක්ම තමා තුළ පවතින කිනම් හෝ දෙයක් නිසා අභිමානයට පත් වෙනවා. සමහරු තමන් ගත කරන ජීවිතය ගැන අභිමානයට පත් වෙනවා. තව අය තමන් ආදරේ කරන අය නිසා අභිමානයට පත් වෙනවා. තමන්ව මූලික කරගත්ත දේවල් ගොඩක් නිසා අපි අභිමානයට පත් වෙනවා. ඒත් තමන් තමන් වීම තුළින් ලබන අභිමානය ඒ සියල්ලටම වඩා ඉහළයි.
LGBTQ කියන්නෙ මොකක් ද?
LGBTQ කියන්නෙ වචන පහක් අර්ථ ගන්වන අකුරු පහක්. අකුරු එකින් එක ලෙහා ගෙන ගියොත් අපිට හම්බෙන්නෙ අපි නොදන්න පිරිසක්. එහෙම නැත්නම් වැඩිය අපි නොදන්න අපිට හම්බෙලා තියෙන කොටසක්. ඒ දෙකම නැත්නම් තමන්ට තමන්වම එහෙම කෙනෙක් විදිහට හම්බෙලා තියෙන්න පුලුවන්. නැත්නම් අනාගතයේ තමන්වම එහෙම කෙනෙක් විදිහට හම්බෙන්න පුලුවන්. කෙටි අර්ථයක් දුන්නොත් ලිංගිකත්වය ගැන සමාජයෙ අදහස් 2ක් තියනවා.
1) පොදු බහුතර පිළිගැනීම වෙන්නෙ ජීව විද්යාත්මකව ගැහැණු පිරිමි කියල දෙකොටසක් ඉන්නවා.
2)ගැහැණු අය පිරිමින් කෙරෙහිත් පිරිමින් ගැහැණුන් කෙරෙහිත් ආකර්ශනය වෙනවා.
ඔය බහුතර අදහසට අනුව ජීවත් වෙන බහුතර පිරිස විෂම ලිංගිකයින් හෙවත් Heterosexual මිනිසුන් ලෙස හඳුන්වනවා. ඒත් LGBTQ කියන්නෙ මේ කිව්ව සමාජයේ බහුතර අනන්යතාවයන්ට හා අදහස්වලට නොවැටෙන නමුත් මිනිසුන් ලෙස තමන්ගෙ නිදහස හිමිවිය යුතු පිරිසකට. කලින් කියපු සමාජ මතවාද දෙක අභියෝග කරන ඊට අයත් නොවන ප්රමාණාත්මකව සුළුතර පිරිස LGBTQ කියන අකුරුවලින් නිර්වචනය වෙනවා.
L - Lesbian : සමලිංගික ගැහැණුන් (ගැහැණු ගැහැණුන් කෙරෙහිම ආකර්ශනය වන)
G - Gay : සමලිංගික පිරිමින් (පිරිමින් පිරිමින් කෙරෙහිම ආකර්ශනය වන)
B - Bisexual : ද්වීලිංගික මිනිසුන් (ගැහැණු පිරිමි දෙපාර්ශවය වෙතම ආකර්ශනය වන)
T - Trangendar : සංක්රාන්ති ලිංගිකයින් (උපතින් තමන්ට හිමි උන ශරීරයට වෙනස්ව හිතන. ඒ කියන්නෙ පිරිමියෙක් නම් ගැහැණු ආත්මයක් හිමි වූ, ගැහැණියක්නම් පිරිමි ආත්මයක් හිමි වූ අය. ඔවුන් සැත්කම් මගින් තමන්ගෙ ශාරීරික ලිංගිකත්වය වෙනස් කිරීමද සිදු කරනවා.)
Q - Queer : ඉහත දක්වපු LGBT කියන අකුරු වලින් අර්ථ ගැන්වුණු ප්රජාවන් අතීතයේ අපහාසාත්මකව ආමන්ත්රණය කළේ Queer (අමුතු මිනිස්සුන්) කියන අපහාසාත්මක වචනයෙන්. ඒත් අද LGBT කියන අකුරු හතර අගට Q අකුර එකතු කරන්නෙ ඒ අමුතු මිනිස්සුන්ට (Queer) ගෞරවයක් හා අතීත පීඩාවන්ගෙ සංකේතයක් විදහට. ඒ වගේම අනාගතයේ එසේ පීඩාවන් නොකිරීමේ සංකේතයක් විදිහට.
එහෙනම්, Pride Month කියන්නෙ මොකක් ද?
දැන් අපි දන්නවා Pride කියන්නෙ අභිමානය කියන එක. ඒ වගේම LGBTQ කියන්නේ බහුතරයට වෙනස්ව තමන්ගෙ ආකර්ශනයන් හා අනන්යතාවන් ඇති පිරිසක්.(මේ නිසා මේ අයව 'සුළුතර ලිංගික ප්රජාව' කියලත් හඳුන්වනවා) දැන් අපිට එන ප්රශ්නෙ තමයි ඇයි LGBTQ ප්රජාව අභිමානයට පත් වෙන්න ඕනි කියන එක. මුලින්ම කියපු විදිහට අපි අපට හිමිවෙන දේවල් ගැන එක එක විදිහට අභිමානයට පත් වෙනවා. මනුෂ්යයින් විදිහට LGBTQ ප්රජාවටත් තමන්ගේ පෞද්ගලික ආකර්ශනය ගැන වගේම අනන්යතාව ගැනත් අභිමානයට පත් වීමේ හිමිකම ප්රජාතන්ත්රවාදී සමාජයක හිමිවිය යුතුයි. 'LGBTQ Pride Month' හෙවත් 'අභිමානත්වයේ මාසයේදී' අභිමානයෙන් සැමරෙන්නෙ මේ පොදු මනුෂ්ය අයිතිවාසිකම.
LGBTQ හෙවත් සුළුතර ලිංගික ප්රජාව කියන්නෙ ඒ තරම් අභිමානයට පත් වෙන්න ඕනි පිරිසක් ද?
ඔව්, එහෙම වෙන්න ඕනි. මොකද ඔවුනුත් මනුෂ්යයින්. ඒ වගේම තවදුරටත් අපි තේරුම් ගන්න ඕනි ඔවුන් රෝගීන් නෙවෙයි කියන එක. ඔවුන් ස්වභාවිකයි.
අනික් අතට ඉතිහාසය පුරාවට ඔවුන්ගේ අභිමානය පිළිබඳ ලියවිලා තියනවා. අපි ටිකක් ඈතම ඉතිහාසයට ගියොත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්ය සමලිංගික පිරිමි තැනැත්තෙක්. ඔහු ඉන්දියාව දක්වා ලෝකයම අයත් වෙන විශාල අධිරාජ්යක් ගොඬනඟන ලද ඓතිහාසික පුරාවෘත්තය. යුධ කිරීම වීරත්වයක් නොවුන ද ඔහු වඩාත්ම උපායශීලි හා කීර්තිමත් නායකයෙක්. අනික් අතට ඔහුගේ පෙම්වතා වෙන්නෙ තමාගේම හමුදාවෙ ජෙනරාල්වරයා.
ඈත ඉතිහාසය වගේම මෑත ඉතිහාසය තුළත් සදා නොමැකෙන නාමයන් රාශීයක් LGBTQ ප්රජාව ඉදිරියේ ලියවිල තියනවා. ඇමරිකානු ජාතික සැලි රයිඩ් කියන්නේ ඇමරිකාවේ පළමු කාන්තා ගගනගාමියා වගේම ඇය සමලිංගික කාන්තාවක්. ඇගේ පෙම්වතිය බවට පත් වෙන්නෙත් ලේඛිකාවක් වන ටැම් ඔෂක්නෂි. ක්රිස්ටීන් ජෝර්ගන්සන් කියන්නෙ ලෝකයේ පළමු සංක්රාන්ති ලිංගික කාන්තාව. ඒ කියන්නෙ ශාරීරිකව පිරිමියෙකුව ඉදල කාන්තාවක් බවට සැත්කමක් මගින් පත් වුණ පළමු තැනැත්තිය. ඇය රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වශයෙන් කටයුතු කර ඇති අතරම 1967 දී ඇගේ සංක්රාන්ති ලිංගික ජීවිතය අළලා ස්වයං-චරිතාපදානයක් රචනා කිරීමටත් නිර්භීත වෙනවා. වර්තමාන ජීවමාන ලෝකය දෙසටම මේ කතාව අපි විදාරණය කළොත් ලංකාවේ පවා ප්රසිද්ධියට පත් උන 'Dr. Dolittle' චිත්රපට මාලාවේ ඩූලිට්ල්ගේ සතුන් සමඟ කතා කරන දියණියගේ චරිතයට පණ පොවන රේවන් සිමෝන් පවා ගැහැණු,පිරිමි දෙපාර්ශවයම ආකර්ශනය වීමට සමත් ද්වීලිංගික(Bisexual) තැනැත්තියක්.
ඒ වගේම ඔබ දැනුවත් ද ඔබ ලාංකිකයෙකු ලෙස උන්මාදයෙන් වැළඳ ගත් Kuch Kuch Hota Hai, Kabhi Khushi Kabhie Gham, Kabhi Alvida Naa Kehna, My Name Is Khan වැනි චිත්රපට පිටුපස සිටින පුද්ගලයා LGBTQ ප්රජාවට අයත් බව. මේ අප්රමාණ රසික ප්රසාදයට පත් චිත්රපටවල අධ්යක්ෂකයා සමලිංගික ලැදියාවක් සහිත සුප්රසිද්ධ අධ්යක්ෂක කරන් ජොහාර් වන අතර ඔහුගේම චරිතාපදානය තුළ ඔහුගේ සමලිංගික ඇසුර පිළිබඳව ඔහු විසින්ම ප්රකාශ කරල තියනවා.
70/80 දශකවල සංගීත ඉතිහාසයේ නොමැකෙන නාමයක් තියපු ක්වීන්ස් සංගීත කණ්ඩායමේ ෆ්රෙඩී මර්කරි එකල තුළ උන්මාදනීය රසිකයන් පිරිසක් හිමි කරගත් ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ ලිංගික ආකර්ශනීයත්වය පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම තියනවා. මේ නිසාම සමාජයෙන් නොයෙක් ආකාරයේ ආතතින්ට හා පීඩාවන්ට පවා ඔහුට ලක් වෙන්න සිද්ධ වෙනවා. 2019 වර්ෂයේ හොඳම චිත්රපටය සඳහා ඔස්කාර් සම්මානයට නම් වන ඔහුගේ ජීවිතය අළලා නිර්මාණය වුණු Bohemian Rhapsody චිත්රපටයේ අවසන් දර්ශන කිහිපය වෙන් වෙන්නෙ ෆ්රෙඩී මර්කරිගේ රෝගය උත්සන්න වීමට මත්තෙන් සිදු කරන ලෝකය පුරා විකාශය වන දහස් ගානක් සහභාගි වන Live Aid ප්රසංගයෙන්. තමා තමන්ගෙ සමාජ රෝගය නිසා මිය යන බව දැනගනිමින් ඔහු ඔහුගේ සංගීත කණ්ඩායමේ සගයන්ට කියනවා අපි මේ වේදිකාව හිල් වෙන්න සිංදු කියමු කියල. තවත් සගයෙක් ෆ්රෙඩි මර්කරිට මතක් කරන්නෙ ඔවුන් ගායනා කරන වේදිකාවට වහලයක් නොමැති බවයි. ඒ වෙලාවේ ෆ්රෙඩි මර්කරි නමැති bisexual පිරිමියා පවසන්නෙ,
"වහලයක් නැත්නම් අපි අහස සිදුරු වෙන්න සිංදු කියමු"
ඇත්තටම,ෆ්රෙඩී මර්කරී කාටවත් සිදුරු කරන්න බැරි අහස ලෝක සංගීත ඉතිහාසය ඇතුළෙ 1985 දී Live Aid ප්රසංගයේදි සිදුරු කළා. ඒ ජාතින් 150කට අයත් ලෝක ජනගහනයෙන් 40% ක්. ඒ කියන්නේ මරණීය රෝගයක් සහිතව බිලියන 1.9 ඉදිරියේ ඔහුගේ උන්මාදනීය හඬින් සජීවීව ගීත ගායනා කරමින් LGBTQ පමණක් නොවන සමස්ත මානව ප්රජාවගේම අමරණීයත්වයේ මරණීය හඩ අහස සිදුරු වෙන්න ගුවන් ගත කරනවා.
සෑම මනුෂ්යයෙකුම අභිමානවත්. අභිමානය කියන්නේ සෑම මනුෂ්යයයෙකුගේ ම අයිතිවාසිකම. මේ ජූනි මාසය ඒ අභිමානත්වයේ ජූනි මාසය වෙනවා වගේම සම්මත ජොර්ජියානු කැලන්ඩරයේ සෑම දිනයක්ම ඒ අභිමානත්වයේ සැමරුමක් වශයෙන් ඉතිහාසයට එකතු කිරීම මනුෂ්යයින් ලෙස අපගේ නොසැලෙන වගකීමක්.
- ඉසුරු උදාකර යකන්දාවල
#LGBTQ #genderequity #humanrights
#Pridemonth #Pride2021
#loveislove
#GenderClub
#UOK
( Gender Equity & Equality Club - University of Kelaniya වෙත 2021 ජුනි 30 ලියූ සටහනකි.)

සමකාලීනව ගොඩනැගූ අර්ථාන්විත සටහනක්.
ReplyDelete