ගිය තුන් වෙනිද නමයෙ අන්තිම කෝච්චියෙ (නයිට් මේල් එකේ) අපිට යාපනේ යන්න උනේ.හිතුවේ අන්තිම කෝච්චිය නිසා කිසිම අවුලත් නැතුව මිනිස්සු අඩු වෙච්චි කෝච්චියක යන්න පුලුවන් වෙයි කියල.ඒත් වැඩේ එහෙම උනේ නෑ.අපිට සීට් තිබ්බෙ නෑ.කෝච්චියෙ ටිකක් ඉද්දි එහෙන් මෙහෙන් සීට් හම්බුනා.පොල්ගහවෙලට යන්න කලින් ළඟම සීට් නැති උනත් ළඟ ළඟ තිබ්බ සීට් ටිකකට එන්න පුලුවන් උනා.ඔහොම ඉඳගෙන බොංගො එකකුත් තියාගෙන සිංදුවක් කියන්න කට්ටිය එක ළඟට සෙට් වෙනකන් හිටියෙ.ඔය ඒ මේ අතර දෙමළ කොල්ලො ටිකක් කෝ්ච්චි පෙට්ටි දිගේ එහෙ මෙහෙ යනවා.අපිත් සිංදුවක් කියන්න කියල ඉන්නකොටම යාලුවෙක් අතේ තිබ්බ බොංගෝ එක "පොඩි ෆන් එකක් අරගෙන දෙන්නම්" කියල එක කොල්ලෙක් යාලුව එක්ක කතා කරල අරගත්ත.අපේ එකත් නොදී බැරිකමට දුන්නා.උන් ටික අපිටත් සිංදු කියන්න එන්න කියාගෙන ගියා.අපි බිරන්ත වෙලා එක එකාගෙ මූණ බලාගත්ත ගමන් හිටිය.අපිට සිංදුත් නෑ බොංගොත් නෑ.ඔහොම ඉඳල අපේ එක එකාව ඒ දෙමළ කොල්ලො ටිකම ඇඳල ගත්ත සිංදු කියන්න.කොහොමහරි රෑ එක දෙක වෙද්දි කල්ලි දෙකක් නෑ.සිංහල දෙමළ සිංදු මරුවෙන් මාරුවට කෝච්චියෙ දිගෙ ඇවිදිනවා.ඒක වෙනම අත්දැකීමක්.ඒත් විශේෂයෙන් ම කියන්න ඕනිම දේ එ්ක නෙවෙයි.කෝචියෙදි සිංදු කියද්දියි,අනික් කෙනා එක්ක කතා කරද්දියි අපිට භාෂාවෙ පොඩි අවුල් ටිකක් තිබ්බා.නටද්දිනම් එහෙ කිසිම අවුලක් නැ.භේද නැතුව වල් අඩි ගැහුවෙ කොච්චියෙ ගැන්සිල්ල එක්ක සෙට් වෙන්න.ඒත් කතා කරද්දි සිංදු කියද්දි පොඩ්ඩක් අමාරුයි.දෙමළ උන් ටිකට සිංහල හරියට බෑ.ඊට එහා අපේ එකෙක්ට ඇරෙන්න දෙමළ ඇල පිලක් ඉස්පිලක්වත් දන්න එකෙක් නෑ.එහෙම උනාට අපි උන්ව ටික ටික අඳුන ගත්ත.අපි රත්නපුරේ.එයාල කොළඹ සයිට්වල දාඩිය දිය කරන යාපනෙ කට්ටියක්.එක්කෙනක්ගෙ ගම්පළාතම නාරහෙන්පිට.අනික් ගොඩක් අය යාපනය,කුරික්කණ්ඩුවාන්,චුන්නාකම් වගේ පැතිවල.ජැෆ්නා කොච්චිය කියන්නෙ වෙනම තැනක් වෙන්නෙ ඒකෙ අපි කොච්චර පුංචිද කියල තේරෙන නිසා.ඒක ඇතුළෙ අපි කාටවත් අඳුනගන්න අනික් කෙනාට බැ.එහෙමත් නැත්නම් අමාරුයි.භාෂා වෙනස්,පාට වෙනස්,විදිහ වෙනස්.අපි මාරම ගේමක් දීගෙන වචන දෙපැත්තට කතා කරගත්තෙ.ඒ අතර තමන් කවුද කියන එක හරිම අමාරුයි.එකෙදි එක දෙමළ කොල්ලෙක් කියපු එකක් ඇති මේ රට ඇතුලෙ අපි මොක්කුද කියල තේරුන් ගන්න.අැන්ටා කියල කොල්ලෙක් හිටිය සිංදු කියන්න අාපු.මිනිහගෙ ඇත්ත නම ඒක නෙවෙයි.එවලෙ කට්ටිය ෆිට් එකට කිව්ව නම.හකු බැහැපු,කෙට්ටු,උස,කළු කොල්ලෙක්.ඇන්ට කුරුකණ්ඩුවාන්වල.ඇන්ටා මිනිහ කුරුකණ්ඩුවාන්වල කියන ගමන් තව දෙයක් කිව්ව.එයා විද්‍යාගෙ ක්ලාස්මේට් කියල.අන්න එතනදි තමයි "අහා එහෙමද කියල" මිනිහ ගැන හරියට හැඳිනිමක් අනන්‍යතාවක් අපිට ආවෙ.අපි උතුරෙ කියල දැනගෙන හිටියෙ විද්‍යාවයි, ප්‍රභාකරනුයි විතරයි.ඉතින් මිනිහා විද්‍යගෙ ක්ලාස් මේට්නෙ කියලයි අපිට මිනිහව අඳුන ගන්න ලේසිම විදිහ.අපිට නිදහස ලැබිල අවුරුදු හැත්ත
දෙකක්.අපි කොඩිත් දැම්මනෙ හැමතැනම.ඇන්ටට අැන්ට ගැන කියද්දි එයාගෙ අනන්‍යතාව හඟවද්දි කියන්න උනේ දූෂණය කරපු තරුණ කෙල්ලෙක් ගැන.හොඳට බැලුවම උතුරටයි අපිටයි තියෙන එකම කනෙක්ෂන් එක ඒ වගේ ලේ,අමානුෂිකත්වය ගෑවිච්ච දේවල් විතරයි වගේ නෙවෙයිද?අපි දන්න උතුර විද්‍යාව දූෂනය කරපු,යන එන හැම තැනම බෝම්බ ගහපු,සිංහල අම්මලගෙ බඩ කපල දරුව අරගෙන මරල දාපු,වෙඩ් තියපු,සයනයිඩ් බෙල්ලෙ බැඳගත්තු උතුරක් විදිහට.උතුරත් දකුණ ගැන හිතනව ඇත්තෙ එයාලට වෙඩි තියපු,හැම තැනම චෙක් පොයින්ට් දාගෙන ඇඟ අතපත ගාන,ඉඩම් කොල්ල කාපු,චේට්ටියාර් වීදියෙ රත්තරන් බඩු කඩ කඩපු,මහවැලියෙ දෙමළ මිනිස්සු මරපු,සේයා දූෂනය කරපු,ග්‍රීස් යක්කු ඇවිදින දකුණක් විදිහටම වෙන්න ඕනි.අපිට අපි ගැන කියල කියන්න තියෙන්නෙ මෙච්චරයි.ගම්පළාත ගැන ඕනිනම් උතුර තල් රා,රත්නපුර මැණික්,අම්බලංගොඩ වෙස් මූණු කියල කියාවි.ඒත් ඒ ඇරෙන්න දූෂනයක්,මිනීමැරුමක් ඇරෙන්න වෙන කනෙක්ට් වෙන්න දෙයක් අපිට තියෙද?ඒ අතින් අපි නිදහස හෙනම ගෞරවයෙන්,අභිමානයන් සමරගෙන,මාර සෞභාග්‍යයක් තියන (කියල කියන) ලාංකිකයො විදිහට වර්ග කිලෝමීටර 65610ක බිමේ,දෙවුන්දර ඉදල පේදුරුතුඩුවට එනකන්ම බැලුවත් අපි කොච්චර පුංචි මිනිස්සුද?
ප්‍රීතිමත් නිදහස් දිනයක් වේවා!
ඉසුරු උදාකර යකන්දාවල
2020 / 02 / 06

Comments
Post a Comment